Showing posts with label love. Show all posts
Showing posts with label love. Show all posts

Monday, December 12, 2022

මිරිගුවක දුවනවා


 

සිහින සොයන්න, සිහින දකින්න

පෙරුම් පුරනවා පැතුම් පතනවා

කවදා උදාවේදෝ නොදන්නා

මිරිගුවක දුවනවා

නිදහසක්, නිදහසක් සොයනවා

නොලැබුනත් පතනවා පතනවා

නිදි නැතුව සොයනවා පතනවා

මිරිගුවක දුවනවා

Wednesday, May 17, 2017

පොඩි කුරුල්ලෙක් වගේ



සොඳුරු නම් මල් සුවඳ වාගේ
සිහිල් නම් මද පවන වාගේ
ගලා යද්දෙන් ඔහේ 
පා වෙලා ජීවිතේ...

රැදුනි නම් මුදු ගුණය සේම සඳේ
පියකරුයි නම් සිතුම් වැල් නිති හදේ
පසුතැවි නම් තිබුනදෙන් කොහේ
ගලායන්නට ඉඩ දෙන්න ජීවිතේ...

තටු සලා පොඩි කුරුල්ලෙක් වගේ...
ඉගිලිලා 
ඈත නිල් ආකහේ...


Sunday, March 26, 2017

පවසන්


සයුරු දළ රළ එක්ව රඟනා
සිත් වෙරළ සිඹිනා
යලි යලිත් නැගෙනා
කැටිති පෙණ පොකුරු දැයි පවසන්

තුන් යමේ සීතලට
තරු එළිත් නිදි රෑක
ඝණ අඳුර විනිවිදින
මුදු ස්වරය ඔබද පවසන්

මදහසින් ලොව පිබිද
සිත් පතුල් මත සරන
සිතිවිලිද ඔබ මගේ
හොර රහසෙ සෙමින් පවසන්


Tuesday, February 14, 2017

නැතුව



සරදමක්ද අද 
පෙර දිනක් පිදුව 
සොඳුරු මුදු කුසුම

ගං තෙරක් හිඳ
විහඟ රාවයට
මිමිනු පෙම් කවිය

හදේ කැටි ගැහුන
මගෙ සුසුම් පොද
යනෙන තැන් නැතුව


Wednesday, January 25, 2017

පිවිතුරුම පළමු පෙම



සඳ එළිය වගේ සිසිලැල්
හිමිදිරිය වගේ මනලොල්
ලොව පෙමක් තිබේ නිකැලැල්
නැත කිසිත් එයට සම තුන්කල්

සුදු පියුම් පරදවන 
පිවිතුරුම පළමු පෙම...
ස්නේහයේ ගීතයේ 
සුමුදු මුදු රන් රාව...

ඉකිගසන ජීවිතේ සනසවා 
තුරුලු කරවා ලැමට දෝතින්...
ලොවම සනසන ලොවම නැලවෙන
අන් දෙයක් වෙයිද වෙන යම්...


Thursday, December 1, 2016

රහස්



සලිත ලලිත නෙත් රසඳුන්
රහස් ගෙනෙනවා... 
තුන්යම සිහින මැවෙනවා
සිත් මල විකසිත වෙනවා...

හෙමින් සැරේ හොර රහසෙම
වෙලී වෙලී පවන් රොදක
මතක සුවඳ තවරාලා
රහස් කියනවා... 
හද විල රටා මැවෙනවා....

ඈත දුරක වළා රොදක
මොලකැටි සියුමලි මුදු ගුණ
සැරින් සැරේ දවටා ගෙන
රහස් කියනවා... 
කව්රුද රහස් අහනවා...


Tuesday, November 1, 2016

ආදරේ හිමිකාරි



පුරා පෙරුමන් පතා පැතුමන්
රුහිරු වගුරා කඳුලු වපුරා
දිනා ගත්තා මා...
මම ඔබේ කර ගත්තා...

කිරුල නොපලන් රැජිනියයි ඔබ
මහද ගැස්මේ රිද්මයයි ඔබ
මුදු සුමුදු සඳ සිසිලසත් පරයන
ආදරේ හිමිකාරියයි ඔබ...

බලා කල් යල් සුදු නෙලුම සොඬින් ගෙන
ඔබේ කුස වැඩි දෙව් පුතුන් නම් මම නොවේ
ජීවිතේ සැඬ කටුක යුගයක
සෙවු කෙන්බිම ඔබමවේ...

තවම නොදනිමි අන් කෙනෙක් මට
සම කරන්නට ඔබේ ලඳේ...
ජාති ජාතිත් පත්න්නේ මම
ඔබෙම වේවා සංසාරයේ...


Friday, December 25, 2015

සුන්දරයි හැඟුමන්



සුන්දරයි හැඟුමන් ඉපිලිලා සිත මගේ සතුටින්
ලං වෙලා සියොතුන් ගී ගයයි හඬ නගා විගසින්
මල් පිපී ලෙලයි යායට පුරවලා සුවදින්
ජීවිතේ සොඳුරුයි රස උතුරලා පෙර මෙන්

වෙනද නොදැනෙන අමුතු මිරිහරක් ගත පුරා පැතිරෙයි
සිහිල් මද නළ ගෙනයි සැනසුම නව පනක් ලැබදෙයි
ලබැදි බව උතුරා දෝරේ ගලලා සිනා මල් විසිරෙයි
හුරු පුරුදු බව පුරවලා මුලු සිතම කවියක් වෙයි

නැගෙන විට දිනිදුන් අඹර දිලෙනා කිරණ සේ උතුරන නැවුම් බව
වඩින විට සඳවතිය මිහිපිට ගෙනෙන සේ  මුදු සිහිල් බව
ගයන විට පෙම් ගීය කෙවිලිය නෙත රැදුන සේ කෝල තුටු බව
හැඟෙන විට මා ගතම පුබුදුවන ඔසුව සේ දැනෙයි මේ සොඳුරු බව

මනකල්ය ලොව දැන් සැනෙකෙලි කරයි සිත සතුටින්
කිමද මේ  හැටි කාරනා එනමුදු එකදු පැනයක් වෙයි
මන්ද මේ විමසුම් සකි සඳේ නැතිය අන් කිසිත් සම වෙම්
ගෙදර ඇවිදිල්ලා කාලෙකින් නිදසේ මම ගෙදර ඇවිදින්...



Sunday, November 22, 2015

නික්මිලා රහසින්...



නවාතැන් පළ ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ...
එදා තෙපලූ ඔබ කොහිද සබදේ....

සසර සරනා තුරා 
ඔබ මගේ... ඔබ මගේ....
සපත කල ඔබ මුව 
ගොලු උනිද කෙලෙසේ....

අන් ලඳක් නැත සොඳුරු ඔබ රුවසේ
මිහිරි වෙයි ඔබ තෙපුල් මට සඳවතියේ...
පෙර පිනින් මම ලදිමි අත ඔබගේ
කියූ කාලය අමතකද සබඳේ....

හැර ගියේ ඇයි දැයි නොදන්නෙමි නික්මිලා රහසින්...
චපල නැති බව පමනක්ම දන්නෙමි ඔබට කිසි විටෙකත්...

හිතවතුන් නෑසියන් මාපිය හැමදෙන විමසද්දී තතු ඔබගේ
මුව ගොලුයි මා, කෙලස කියන්නද ඔබ නො එන බව සබඳේ....

කඳුලු වැල් හැම රෑක සිටියත් මගේ ලඟ රහසේ...
ලෝකයෙන් සඟවා පිසාදා හරින්නම් සිනාවෙන් නිබඳේ...

පෙර එදා සිත් බැඳි මතකයන් කෑ ගසයි නම් ලද ඉඩකින්...
පෙලයි නම් සිත වද වේදනාවෙන් පාරවා හැඟුමන්...
ඔබේ ලොව තුල මා නොමැති බැව් කියයි නම් ඔබ දිවුරලා මැනවින්....
එලඹ ඇත දැන් සුදුසු කාලය කුරුටු ගා සදහටම යන්නට අපේ පෙම් පැතුමන්...

උතුම් මෙහෙසිය මහා ගුණ පිරි යශොදරාවක් නොවේ මම සබඳේ...
රලු කටුක දිවි මගේ සරනා හුදු ගැහනියකි මේ දියතේ...
එහෙත් එනමුදු කුළුදුල් පෙම පිදු හද ගැන නැහැ ද්වේශයක කෙදිනකවත්..
ඔබ මගේ නොව්නත් පතන්නම් සියලු සෙත් යහපත්....






Saturday, November 14, 2015

දිවිය සරසන බොළඳිය...



කෝළ හසරැලි සිඟිති ඉඟි බිඟි
මුවඟ ගැවසුන බොළඳිය...
සොඳුරු මියැසිය කිරි සිනා පිරි
දිවිය සරසන දියණිය...

විසල් නෙතු යුග පුරා පැතිරුන 
මියුරු ජීවන රස...
දකින විට ඔබ සිඟිති හසරැලි
නිවෙයි හද රැදි ගිම් හැම...

මගේ හද විජිතයේ 
කිරුළ ඔබ දූ කුමරිය...
හෙලමි දහඩිය තුටු සිතින් මම 
ඔබේ හෙට සුව පිණිසම...

අඳුර දුරලා අඹර දිදුලන
සරා සඳ සේ හැමවිට...
නැණ නුවණ සරි - ගුණ සුවඳ පිරි
සඳවතිය වෙයන් ඔබ මතු දිනයක...




Friday, November 13, 2015

රෑ මැදියම මැවෙන මතක...



හිත පෑරෙන කවි කියවෙන
නිදි නැති නෙතු ගතු කියවන
රෑ මැදියම
මැවෙන මතක...

දුක්බරවූ අතීතයක
සුසුම් අතර සැරිසරන්න
කඳුල සමඟ ලෙන්ගතුවුන
අකීකරුම මගේ මතක...

හද පාරා රිදුමන් දෙන
වලලන්නට පෙර සැඟවුන
ඇඟ මස් ලේ වැද කකියන
සීතලවූ අඳුරු මතක...



Wednesday, October 21, 2015

ජීවිත ගමන...



සැලෙන සසැලෙන විටෙක හිනැහෙන
කඳුල සුසුමද නිබඳ ගැවසෙන
මහා මිරිඟුව....

යදින අයදින විටෙක පුදදෙන
උස් පහත් බිම් නිතර හමුවෙන
නොනිමි මංපෙත...

ගෙවෙන ගතවෙන විටෙක ලත වෙන
අරුම මියැසිය නොවෙද
ජීවන ගමන...




Tuesday, October 13, 2015

ආදරේ හිමිකාරියේ...



පුරා පෙරුමන් පතා පැතුමන්
රුහිරු වගුරා කඳුලු වපුරා
දිනා ගත්තා මා...
මම ඔබේ කර ගත්තා...

කිරුල නොපලන් රැජිනියයි ඔබ
මහද ගැස්මේ රිද්මයයි ඔබ
මුදු සුමුදු සඳ සිසිලසත් පරයන
ආදරේ හිමිකාරියයි ඔබ...

බලා කල් යල් සුදු නෙලුම සොඬින් ගෙන
ඔබේ කුස වැඩි දෙව් පුතුන් නම් මම නොවේ
ජීවිතේ සැඬ කටුක යුගයක
සෙවු පිළිසරණ නම් ඔබමවේ...

තවම නොදනිමි අන් කෙනෙක් මට
සම කරන්නට ඔබේ ලඳේ...
ජාති ජාතිත් පත්න්නේ මම
ඔබෙම වේවා සංසාරයේ...




Wednesday, October 7, 2015

සොඳුරු මිනිසා ඔබයි




චන්ඩ ලෙස ගලා යන සැඩ පහර මම
සකල විද බාධකත් ජය අරන්
කල් යල් ගෙවා නිසල නඳියක්ව ඔබ වෙතට ඇදෙතැයි සිතා
සුමුදු ලෙස සිප ගන්න පෙරමඟම බලා සිටිනා
මහා සමුදුරයි ඔබයි, තාත්තේ මගේ...

හිතුමතේ ගසා යන අකීකරු සුලඟ මම
සැඩ සුලඟ මුදු සිනිඳු කර
සොඳුරු මකරන්දයෙන් මද පවන සරසන්න හැකි යැයි සිතා
ජීවිතේ පුරාවට මහා වෙහෙසක් දරන
සොඳුරු මිනිසා ඔබයි, තාත්තේ මගේ...



දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash